ගැහැණු ළමයි

ගැහැනු ළමයි

Thursday, July 12, 2012

තාත්තා නැති අපිට ,දුක් ගිනි ඇවිළෙන්න එපා!!!!



A Fathers Love for his daughter



මම කාව්‍යා ..ඔන්න මමත් එකතු උනා ගැහැණු ළමයි එක්ක හොදේ.ඉතින් මේ මගේ පළවෙනි පෝස්ට් එක ගැහැණු ළමයින්ට.පළවෙනි එකම ටිකක් දුක්බර සංවේඳී කතාවක්.


ම්ම්ම් අපි මෙහෙම හිතමු තමන්ගෙ තාත්තගෙ එහෙමත් නැත්තන් අම්මගෙ අකල් මරණය ගැහැණු ළමයෙක් කොහොමද දරාගන්නෙ....? එයාට මොනවද දැනෙන්නෙ...?හිතාගන්නවත් බෑ නේද...? හිතා ගත්තත් කොහොම ඒවා වචන වලට හරවන්නද...?ජීවිතේ හොදම වයසෙදි මමත් මේ බියකරු අත්දැකීම ලැබුව.ගල්කිස්ස කනත්තෙ ආදාහනාගාරයේ දුම් බටෙන් තාත්තගෙ සිරුර දැවි දැවී නගින දුම් දකිනකන්ම මම ඒ ඇත්ත පිළිගන්න මැලි උනා.අදත් එතන පහු කරන් යද්දි මට දැනෙන මල මුස්පේන්තු හැඟීම විස්තර කරන්න සිංහල හෝඩියේ මම දන්න අකුරු මදි.ඒ ගැන මම ගොඩක් කතා කරන්න යන්නෙ නෑ එහෙම උනොත් මට මේක ලියාගන්න බැරුව යනවා.

මේ හැම දේම ආයෙ ආයේ මට මතක් උනේ ඊයේ පෙරේදා මගේ හොදම යෙහෙළියකගේ පියාගේ අවමගුලකට සහභාගි වෙන්න මට සිද්ධ උන නිසයි.සාමාන්‍යයෙන් මම අවමගුල් උත්සව හිතා මතාම මඟහරින කෙනෙක් ඒ හේතු දෙකක් නිසා පළවෙනි එක මළගෙවල් වල මල් වඩම් වලින් එන අමුතු සුවඳ (ගඳ )මට දරාගන්න බෑ,අනිත් කාරණේ කවුරුවත් අඬනවා බලන් ඉන්න බැරිකම .මෙන්න මේ හේතු නිසා මළගෙවල් වලට මගේ සහභාගිවීම බොහොම අඩුයි.ඒත් මේ නම් නොයාම බැරි එකක්. ඒ නිසා ගියා.මළගෙදරක උච්චතම අවස්ථාව මිනිය ගෙදරින් එලියට ගන්න මොහොත හා භූමදානය හෝ ආදාහනය කරන මොහොත. මෙහෙත් ඒකේ වෙනසක් තිබුනේ නෑ.අඬල දොඩල හෙම්බත් වුන මගෙ යාලුවට හරියට සිහියක් පතක්වත් තිබුනේ නෑ.මම එයා තුලින් දැක්කෙ මාවමයි.මං වගේම තවත් ගැහැණු ළමයෙකුට තමන්ගේ ආදරණීය පියා අහිමි උනා නේද කියන හැඟීම මගේ ඉහ මොළ පසාරු කරගෙන ගියා.

ජීවිතෙ හොදම වයසෙදි දරුවෙකුට තාත්තෙක් අහිමි වෙනවා කියන්නේ සුලුපටු කාරණයක් නෙවෙයි.විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට පියාගේ අත්වැල , රැකවරණය ආදරය අහිමිවෙනවා කියන්නෙ ජීවිතේ හරි අඩක් නෑ ..එහෙමත් නැත්තම්,සම්පූර්ණයෙන්ම කඩාවැටුණා හා සමානයි.කාලෙත් එක්ක දුක තුනී වෙනවා කඳුළු වේලෙනවා තමයි ..ඒත් ,දරුවෙක්ට අම්මෙක් තාත්තෙක් නැති අඩුව වෙන කාගෙන්වත් වෙන කොහෙන්වත් සම්පූර්ණ කරන්න බෑ. ඒක තමා ඇත්තම ඇත්ත.

ඉස්කෝලේ උසස්පෙළ පංති වලදීත් අනිත් සේරම වැඩ පැත්තක දාලා මගේ තාත්ත මාව එක්ක යන්න හරියට 1.30 වෙද්දි ඉස්කෝලෙ ගේට්ටුව ගාව හිටිය.මගේ බෑග් එක එයාගෙ කරට දාගෙන අතින් අල්ලලා මාව පාර පැන්නුව.එහෙව් තාත්තා මාව ඒ අතින් අල්ලලා පෝරුවට නග්ගන්න ඉන්නෙ නැතුව ඉක්මනටම යන්න ගියා.මහ ලොකු කෙල්ලෙක් වෙලත් තාත්තගෙ කකුල් දෙක උඩ නැගල ඔන්චිලි පදිද්දි " දැන් ඔයා බරයි මේවා කරන්න බෑ මගේ මුණුබුරෙක්ව හරි මිණිබිරියෙක්ව හරි තමා ආයෙත් මෙහෙම උඩ දාන්නෙ " කියල හීන මවපු එයා ඒ හීනේ එළි නොකරගෙනම යන්න ගියා.

දරුවො කොච්චර උස්මහත් උනත් දෙමාපියන්ට එයාලා පුංචි දරුවන් ගානයි.සමහර අවස්ථාවලදී "දැන් ඔයා ලොකුයි ඕවා තනියම කරගන්න පුලුවන් වෙන්න ඕනෙ " කියන එයාලම තමා සමහර තැන් වලදී " තාම පොඩි උන් ඔයාලට මේවා කරන්න බෑ " කියන්නේ.එකම වයසෙදි විවිධ අවස්ථාවලදි කොහොමද මෙහෙම ලොකු වෙන්නෙයි පොඩි වෙන්නෙයි කියල ඉස්සර මම තාත්තා එක්ක තර්ක කරල තියෙනව. ඒත් දැන් මම දන්නව ඒ ආදරේට කියල.හැම තැනකදිම එයාල බලන්නෙ අපිව නපුරෙන් බේරන්න. අපිව ආරක්ශා කරන්න.

හැම තාත්තෙක්ටම තාත්තෙක් උන පළියටම ආදරණීය තාත්තෙක් වෙන්න බෑ, ප්‍රශංශා ලබන්න බෑ ,දරුවන්ගේ හිතේ සදාකාලයටම ජීවත් වෙන්න බෑ.එහෙව් තාත්තෙක් වෙන්න වගේම ,එහෙව් තාත්තෙකුගේ දරුවෙක් වෙන්නත් වාසනා කරන්න ඕනෙ.මම එහෙම වාසනාවන්ත ගැහැණු ළමයෙක් .මගේ පියා එහෙම වාසනාවන්ත පියෙක්.

මම මෙතනදී විශේෂයෙන් තාත්තා ගැන කතා කලාට අම්මා කෙනෙකුගේ වියෝවත් මේ හා සමානයි.ගැහැණු ළමයෙකුට සමහර විට ඒ අහිමිවීම තාත්තෙකුගේ අහිමි වීමටත් වඩා බරපතල වෙන්න පුලුවන්.මොකද ගැහැණු දරුවෙක් ළඟින්ම ඉන්නේ අම්මා. ඒ යෝධ හෙවනැල්ල ජීවිතෙන් ඈත් වෙලා ගියොත් කාටද ඒ අඩුව පුරවන්න පුලුවන් ...? මිහිතලය කම්පා වෙන්න ඇඬුවත් හැපුනත් ඒ වේදනාව කෙලවර වේවිද...?

සමහර දෙමාපියන් දරුවන්ගේ ලෝකයෙන් මේ විදියට සදහට සමුගෙන යනවා.ඒ වගේම තමයි සමහර දෙමාපියන් දරුවන්ගේ සැපත සතුට වෙනුවෙන්ම එයාලගෙන් දුරස් වෙලා දේස දීපංකරේ ගිහින් මුදල් හම්බකරනවා.දෙරටක තනිවෙච්ච ඒ මව්පියන්ගෙ , ඒ දරුවන්ගෙ හිත් වල මොන තරම් ගින්දරක් ඇවිලෙනවා ඇද්ද..?අඩුම තරමේ සිංහල අවුරුද්දකටවත් එක මේසෙ වාඩි වෙලා එකට කිරිබත් කෑල්ලක් කන්න තරම්වත් වරම් නැතුව හූල්ලන ඒ ආත්ම කොයි තරම්නම් හිතින් වැලපෙනව ඇද්ද...?ඒත් එයාලා යම් තරමකට හරි වාසනාවන්තයි. මොකද දෙපැත්තක හිටියත් එකම ඉරක් එකම හඳක් යට එයාලා ඔවුනොවුන් වෙනුවෙන් හුස්ම ගන්නවා.

උපන්නොත් කෙනෙක් දිනෙක මේ මහ පොලවට පස් වෙනවාමයි... ඒක තමා බුදු බණ... ඒක තමා ලෝක සත්‍ය.මරණයේ දුක මිය යන්නාට නොව ජීවත් වන්නාටයි.ඒක මොන තරම් දුක උනත් නියම හපන්කම ඒ කෙනා වෙනුවෙන්ම හැපි හැපී ජීවිත කාලෙම හීල්ලීම නොවේ.ඒ කෙනා වෙනුවෙන් ජීවත් වීමයි.ඒ කෙනා ජීවත් කරවූ අය ජීවත් කරවීමයි.

ඉතිං එහෙම හිතෙ හයියෙන් ජීවත් වෙන අම්මා තාත්තා අහිමිවුණ ඕන තරම් දිරිය දියණියෝ මේ රටේ ඉන්නවා..මේ ලෝකේ ඉන්නවා... ජීවිතේ කියන්නේ හිමිවීම් විතරක් නෙවෙයි.. ජීවිතේ කියන්නේ බැඳීම් විතරක්ම නෙවෙයි.අහිමිවීම් තියෙන්න පුලුවන්... බැඳීම් ලෙහෙන්න පුලුවන්...ජීවිතේ අත්වැල ගිලෙහෙන්න පුලුවන්...ඒ හැම දේම සම සිතින් විඳ ගෙන ජීවිතේට මුහුණ දෙන ගැහැණු ආත්ම මොන තරම් ඇද්ද...
නැතිවෙච්ච තාත්තා වෙනුවෙන්, නැතිවුනු අම්මා වෙනුවෙන් ඇස් වල කඳුළු හංගගෙන , ජීවිතේ දිනන සටන මෙහෙයවන දිරිය දියණිවරු මොන තරම් ඉන්නවාද.. ඒ අය හැම අම්මෙක් තාත්තෙක්ටම ආශිර්වාදයක්...අම්මා අහිමි පවුලට අම්මා වෙච්චි දුවලා , අම්මා අහිමි මල්ලිට අම්මාගෙ සුවඳ බෙදන්න උත්සාහ කරන අක්කලා ලෝකෙටම සම්පතක්... තාත්තා නැති පවුලෙ බර කරට අරන්, තාත්තාගෙන් දුවට වෙන යුතුකම් ඉටු කරන්න නැහෙන අයියලාත් ආදර්ශයක්!!!

අවසාන වශයෙන්,ජීවිතේ හැටි එහෙමයි... මොන දුකක්, මොන කරදරයක්, මොන බාධකයක් ආවත්, මහ මුහුද තරම් කඳුළු ඇස් වලින් ගැලුවත්, ගැහැනු හිත් වල හයිය කොයි මොහොතක හරි මතු වෙනවා.. එහෙම මතුවෙන ශක්තියෙන්, ඒ හයියෙන්, ජීවිතේ හුඟාක් දුර යන්න පුළුවන්...

ඉතින් ලියන්න තව බොහේ දේ තිබුනත් මම මෙතනින් මේ පෝස්ට් එක නවත්තනවා.ආයෙ දවසක මේ ගැන කතා කරනන් පුලුවන් කමක් තිබුනොත් අපි කතා කරමු.අවසානයේ මගේ එකම පැතුම වන්නෙ මෙයයි... මට වගේ , මගේ යෙහෙළියට වගේ ,කිසිම දරුවෙකුට ,කිසිම දියණීයකට, ගැහැනු ලමයෙකුට ,අකාලයේ පිය සෙනෙහස අහිමි නොවේවා!!!










Tuesday, July 10, 2012

ඔයාට, මට, එයාට අයිති නුඹ....




හැම දරැවෙක්ම හෙළන් ඇති
හැම ගැහැණියක්ම නාස්ති කරලා ඇති
හැම පිරිමියෙක්ම සඟවන්න ඇති
හැම කෙනෙක්ම වට්ටලා ඇති
මක්නිසාදයත්
එය කිසිවකුට අමුත්තකු නොවන නිසා...
ආදරයට
සතුටට
වේදනාවට
දුකට
එය උරැම නිසා...
මෙලොව උපදින්නටත් පෙරත්
මරණයෙන් පසුත්
ජිවිතය පුරා අප අතර
සැරිසරන
සැම මිනිස් නෙතක්ම
එහි රස ගුණ හදුනන්න ඇති





කඳුළු











Tuesday, July 3, 2012

හොද ළමයෙක් වෙන්න දුවේ.....01



බට්ටි මහ හුගක් ආදරේ කරන පොතකින් තමයි,මේ අද බට්ටි ලියන දෙවෙනි පොස්ට් එක සරසන්නේ. ඒ පොතේ හැම අකුරක් අකුරක් ගානෙම තියෙන්නේ ගැහැනු ළමයින්ට වැදගත් දේවල්.ජීවිතේට, අනාගතේට ගැහැනු ළමයෙක්ට හුඟාක් වටින කරුණූ ගොඩාරියක් ඒ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා.

ගැහැනු ළමයෙක් හදලා සමාජයට දෙනවයි කියන්නේ මුළු රටක්ම ගොඩගත්තා කියන එකයි." තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි" කියලා කියමනකුත් තියෙනවනෙ. ඉතින්,ගැහැනු ළමයින්ගේ ප්‍රාර්ථනා මල් ඵල ගන්වන්න ,මේ උපදෙස් ටික වැදගත් වෙයි කියලා බට්ටි හිතනවා.

1. ඔබ ස්වභාව ධර්මයට එකතුවෙන්න
උසට වැඩුනු ගස් කොලන් ..... පෙරී එන පිරිසිදු වාතය ..... නිල් තණබිම් ..... කදුහෙල් , මිටියාවත් , පිපී විකසිත වන මල් ..... පෙතිවල රැදෙන පිණිබිදු ..... සිහින් හිරු රැස් ..... අහස උසට නැගෙන සිහින දුමාරය .... ගලා යන තුෂාරය ..... ශිත පින්න ..... මේ හැම දේකින්ම ඔබේ ජීවිතය වර්ණවත් කරන්න. ඔබට අධ්‍යාත්මික සුවය ලඟාකර ගැනීමටත් සිතට එන පීඩනය අවම කර ගැනීමටත්, මානසික විවේකය ලබා ගැනීමටත්, මේ හැම දෙයක්ම ඉවහල් වෙන බව සිතට ගන්න.


2. ජීවිතය දෙස මේ කරුණු තුලින් එබී බලන්න
කහපාට වෙන විට , ඉදුනු ගෙඩි, ගස්වල කොල , බිමට හැලෙන බව.
සිහින් පින්න බිමට වැටී නොපෙනී යන බව.
ලස්සන රෝස මල් පෙත්තක හිමිදිරියේ වැටුනු පිනිකැටය දියවී යන බව.
කවුළුව අද්දර ඊයේ පිපුනු ලස්සන මල හෙටකදී පරවී යන බව.
ආදර හැම කෙනෙක්ම , හැම දෙයක්ම , කවදා හෝ අපෙන් ඈත්වන බව.


3. යථාර්ථය දකින්න පුරුදු වෙන්න.
අප මුහුදු වෙරළේ ගමන් කරන විට දකින සුදුවන් පෙණ පිඩු සහිත රළ අතට ගත්තොත් ,අතෙහි ඉතිරි වන්නේ වතුර පමණක් බව.
ඈතදී දකින ගිණි වළල්ලේ ඇත්තේ වළල්ලක් නොව, ගිණි පෙනෙල්ලක් බව
හැම දෙයකම , හැම ගැටළුවකම පෙනෙන පැත්තට වඩා යථාර්ථවාදීව නොපෙනෙන පැත්තක් ඇති බව.


4. ජීවිතය ජීවත් කරවන්න, එය ගගක් සේ ගලා යාමට ඉඩ දෙන්න.
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න බැහැ. අංග විකල නොවූ (ඇස්,කන,අත පය , මනස) ජීවිතයක් ලබාගන්න , අපි මොනතරම් පින් කරන්න ඕනද? ඒ නිසා ඒ වගේ වාසනාවන්ත ජීවිතයක් ලැබූ අපි ඒ ජීවිතය රැකගන්න කොයිතරම් මහන්සි විය යුතුද? කැපකිරීම් කල යුතුද ? අන්න ඒ ටික හිතට ගන්න. ඒ නිසා ඒ වගේ වටිනා ජීවිතයක් විනාශ කරන සියළුම ප්‍රවේගකාරී බලවේගයන්ගෙන් ඈත්වෙන්න. සියළු බාධක ජයගෙන පහලට බැස යන ගඟක් සේ ජීවිතයට ගලායන්න ඉඩදෙන්න.

5. ජීවිතය සුන්දරය
සුන්දරත්වය හැම විටම ජීවිතයට එක්කර ගන්න. එය කවුළුව අද්දර සිට ශිත කදුකරය දෙස බලමින් සෙමින් සෙමින් තොල ගාන පළතුරු යුෂ බදුනක් සේ සිතා සියමු මිහිරකට එක් කරන්න. ජීවිතය මිහිරි ගීයක් සේ සලකා හැකි හැමවිටම ආසාවෙන් ගයන්න. 


6. අසුබවාදී සිතුවිලි සිත තුලින් ඈත්කර දමන්න.  
ක්‍රෝධය , දේවේශය , මෝහය , තණ්හාව අපේ සිත ලෙඩකරන විෂබීජය. මේ විෂබීජ‍ බොහෝ දුර‍ට අපේ සිත තුල පහල කරන්නේ විෂමාචාර සිතුවිලිය. එහෙයින් , අප යුද්ධ වැදිය යුතු සතුරන් සේ සලකා මේ විෂබීජ තුරන්කර දැමීමට සටන් කරන්න.

7. දවසේ වැඩ ඉතා උනන්දුවෙන් , උද්යෝගිමත්ව පටන්ගන්න
එවිට ඒ සියල්ල ආසාවෙන් කෙළවර කළ හැකිය.
අද දවසේ වැඩ සියල්ල අදම ඉටුකරන්න.
නිදහසට කරුණු දක්වනවාට වඩා එය කෙතරම් අගනේදැයි නිතරම සිතන්න.

8. ඔබ කරන හැම ක්‍රියාවකටම වටිනා තක්සේරුවක් දෙන්න
පළමුව පොත් මේසය අස්කරන්න.
දෙවනුව කාමරය අස්කරන්න.
ඔබ කරන දෙයක ප්‍රතිඵලය හැකි සැමවටම හොද නරක දෙක තුළින් තක්සේරු කොට හොද දේ ජීවිතයට එකතු නරක දේ තුළින් තව තවත් පාඩම් ඉගෙන ගන්න.
ජය පරාජය දෙකටම එකසේ නොසැලී මුහුණ  දෙන්න. ජයග්‍රහණයේදී අත්පුඩි සලන්න. පරාජයේදී තවත් එක් පාඩමක් ඉගෙන ගෙන එයද ජය මාවතක් වෙත යොමු කරන්න.

9. සැමවිටම ඔබ , ඔබ ගැනම විශ්වාසය තබන්න.
ඔබට කල නොහැකි දෑ ගැන සිතනවාට වඩා ඔබට කල හැකි දෑ ගැන සිතන්න. එසේම කිසිදාක නොවෙන දේවල් ගැන සිතමින් අහස් මාලිගා තනනවාට වඩා සැබෑ ලෝකය මත පුංචි ගෙයක් හෝ තනන්න උත්සාහ ගන්න.


10. අන්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න.
ඔබ දේශකයකුවීමට සිතන්නට කලින් ජනප්‍රිය අසන්නෙකුගේ තත්වයට පත්වෙන්න. ඔබ වඩාත් හොදින් අසන්න. ඔහු / ඇය වඩාත් ඔබගේ ජීවිතයට ලංවන බව සිතන්න.


11. ඔබට සතුරන් ඇති බව නිතරම සිතන්න
මෙම සතුරන් වඩාත්ම අරක්ගෙන සිටින්නේ ඔබගේ සිත තුලම බව වටහාගන්න. උදාසීනත්වය, අලසකම . වැඩ කල්දැමීම , මෙම සතුරන් අතර සිටින ප්‍රධාන සතුරන් බව බුද්ධියෙන් වටහා ගන්න.


12. ඔබට වේදනාවක් දැනු‍නහොත් , දුකක් දැනුනහොත් දෑසින් කදුළු හැකිතරම් පිටකරන්න.
වේදනාව හදවත තුලත් , සිත තුලත් තෙරපාගෙන සිටීමෙන් ඇතිවන පීඩනය ඔබගේ මුළු ගමත රෝගී කිරීමට හැකි බව නිතරම සිහියට නගාගන්න. වේදනාව තුනීකර ගැනීමේ හොදම ඖෂධය වන්නේ කදුළුය. එසේම එම වේදනාවට හේතුව ඔබ ඔබේ හොදම යෙහෙළියට පවසා සිත සැහැල්ලු කරගන්න.


13. ස්වභාව ධර්මයේ මේවා රැදී තිබෙන බව සිතන්න. ඒවා ඔබට පමණක් අයත් දේයැයි නොසිතන්න.

ලා‍භය               අලාභය                         කීර්තිය                          අපකීර්තිය


14. ඔබට අත දෙන්නට සුර දූතයෝ මෙහි නැති බව සිතන්න. 
ඔබේ සිත් වේදනාවට හේතුව ඔබම සොයාගන්න. සිතට විවේකය ගන්න. පරිසරය වෙස් කරන්න . ඔබ මුළුමනින්ම පීඩනය කල අදහස් මොහොතකට අමතක කොට දමා වෙනත් මගකට ‍සිත යොමු කරන්න.


15. ඔබේ ශක්තිය , බලය ගැන නිරම සිහියට නගන්න. එය කිසිවෙකුට පාවා නොදෙන්න.
මෙතෙක්  ‍ලෝකයේ සියළු විස්කම් කලේ දෙවියෙකු නොව මිනිසෙකි. මිනිසා වුවද අන්ධයෙකුට දෙවියෙකු ලෙස දැකිය හැක. මිනිසා මැවූ දෙයට සාක්ෂි ඇතත් , දෙවියෙකු මැවූ දෙයට ඇත්තේ විශ්වාසයක් පමණි. ලොව පාලනය කරන්නේද මනුෂ්‍යයෙකි. දෙවිවරුන්ට පවා බණ කීයේ මනුෂ්‍යයෙකි. නිවන් මග දුටුවේ මනුෂ්‍යයෙකි. එසේ නම් නොපෙනෙන දෙවියෙකුගේ බලයට වඩා මනුෂ්‍යයෙකු සතු බලය අසීමිත බව සිතන්න.


16. දෙවියන්ගේ දේවාලවලින් මේ රට හිස්ව නැත. එහෙත් එහි වෙසෙන මනුෂ්‍යයින්ගේ සිත් සතන් හිස්ය. දෙවියන්ගේ උද්‍යනයේ මල් කඩන්නට අපට අවසර නැත. එහෙත්  එහි මල් වවන්නට අපට අවසර ඇත. අපි ඔවුන්ගේ පුදසුන රකින්නේ අපේ පුදසුන හිස්ව තබාගෙන බව අමතක නොකරන්න. 


උපුටා ගැනීම: සුනිල් රෝහණ මහතාගේ ‍''හොද ළමයෙක් වෙන්න දුවේ" කෘතියෙනි....

ඉතිරිය ඊලග ලිපියට........

Friday, June 29, 2012

ගැහැනු ළමයෙක් කියන්නේ කවුද..??


මම ගැහැනු ළමයෙක්..!!

            ඔව්., මේ ලෝකේ ජීවත්වෙන තවත් එක ගැහැනු ළමයෙක්....ආදරේ ජීවිතේ කරගෙන ඇස් දෙකෙන් ආදරේ විතරක්ම දකින්න කැමති සමනලියක් වගේ සැහැල්ලුවෙන් මේ ලෝකේ පුරා ඇවිදින්න හදන තවත් එක ගැහැනු ළමයෙක්..පුංචි පුංචි දේවල් වලටත් හිත රිදවගෙන ඇස්දෙක පිරෙන්න කදුලු පුරවගෙන පැත්තකට වෙලා තනියම අඬන ගැහැනු ළමයෙක්..කටින් පිටවෙන වචනයක් ගානේ දෙපාරක් හිතන වචනෙකින්වත් කාගෙවත් හිත නොරිද්දන අහිංසකව තැම්පත්ව ජිවිතය අරගෙන යන ගැහැනු ළමයෙක්..කෙනෙක්ගේ දුකක්, කරදරයක්, වේදනාවක් තමන්ගේ කරගෙන ඒ වෙනුවෙන් තැවෙන්න ,විදවන්න පුළුවන් ගැහැනු ළමයෙක්..කටක් ඇරලා වචනයක් කියන්නේ නැති ,ඔලුව උස්සලා කෙනෙක් දිහා බලන්නේ නැති හැමදේම නිෂ්ශබ්දව විද දරා ගන්න, ඒත් මේ ලෝකේම මේ සමාජෙම ජීවත්වෙන ගැහැනු ළමයෙක්......

             මේ ඉන්නේ ඇත්තම ගැහැනු ළමයෙක්.බැලු බැල්මට නම් කා ගෙත් හිත යනවා ආදරේ හිතෙනවා එහෙම නේද..? බොහොම අහිංසකව ජිවිතේ ගෙනියන මේ වගේ ළමයෙක්ට ඇත්තටම කවුද අකමැති.හරි දැන් ඔයාලම කියන්න, හිතන්න මේ දේ නේද සමාජයේ කවුරුත් ගැහැනු ළමයෙක් තුලින් දකින්න කැමති..? මේ විදිහේ තැම්පත් කමක් නේද මේ ලෝකයා කියන්න හදන්නේ..?ගෑනු ළමයෙක් කිව්ව ගමන් ඔයාලගේ හිතේ ඇදෙන්නෙ මෙහෙම සියුමැලි, සෞම්‍ය, රූපයක් නේද? සමහරවිට මම වැරදිත් ඇති, ඔයා දන්න දා ඉදන් හිතේ ඇඳන් ඉන්න රූපයක් ඇති, ඦායාවක් ඇති.. ගෑනු ළමයෙක් කිව්ව ගමන් ඔයාට මතක් වෙන්නෙ ඔයාගෙ හිතේ ඇඳිලා තියෙන ඒ මනඃකල්පිත චිත්‍රේ වෙන්න ඇති...ඔව්.. වෙන්න පුළුවන්නෙක එක එක්කෙනා වෙනස්.. එක එක අයගේ අදහස් වෙනස්.. විවිධාකාරයි.. ඉතින්, ගෑනු ළමයෙක් කිව්වාම හිතේ ඇඳෙන අදහස්, ප්‍රතිරූපත් ඒ වගේම වෙනස් ඇති....

                  නමුත් ඇත්තටම ඒ විදිහට විතරක්ම ගැහැණු ළමයෙක් ජිවත්වුනාම ඇතිද..? ඒ තරම් අහිංසකව, බොළඳව, සියුමැලිව, බියගුළුව, තැන්පත්ව,ඕනෙම දෙයක් ඉදිරියෙ මුනිවත රැකගෙන, හරිම යටහත් පහත්ව විතරක් ජීවත් වුනාම ඇතිද..??අද සමාජය එක්ක මේ විදිහට ජීවත්වෙන එක හොදද..?මේ විදිහේ හැදියාවක් විතරමද ගැහැනු ළමයෙක් තුළ තියෙන්න ඕනී..?

            ඔව්..., වෙන්න පුළුවන්..ඇත්තටම ගැහැනු ළමයෙක්ගේ කල් ක්‍රියාවක, හැදියාවක මේ දේවල් තිබිය යුතුයි.ඒක මම නැහැයි කියන්න හදනවා නෙමෙයි. මොකද නියම ගැහැනු ළමයෙක් විදිහට (මේ සමාජේ පිළිගන්න විදියට,සදාචාරාත්මක පසුබිමක , සංස්කෘතිය රැකගෙන) මේ සමාජයේ ජීවත් වෙන්න හොද හැදියාවක් අනිවාර්යෙන්ම ඕන බව හැම කෙනෙක්ම පිළිගන්න නිසා..නමුත් මේ විදිහටම ජීවත් වෙන්න ගියොත් ඒක අමාරු වෙන්නත් පුළුවන් නේද??.

           මොකද මේ ජීවිතයේ ගැහැනු ළමයෙක් විදිහට ඕනම දේකට මුහුණ දෙන්නත් පුරුදු වුනේ නැත්තම්?? එහෙම වුනොත් මොකද වෙන්නෙ??ඇත්තටම ජීවිතේ ඕනාවට වඩා බොලඳ විදිහට ගෙවන්න ගියොත් ඒ ජිවිතේ නීරස වෙන්න පුළුවන් නේද? මංදා, මම හිතන්නෙ එහෙමයි.. මැරෙනකම්ම, ඒ මොහොත වෙනකම් ම ගෑණු ළමයෙක්ට, ගැහැණියකට නානාවිධ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවී..ඔව්.. එහෙම වෙනවා.. ඉතින් මේ ප්‍රශ්න වලට මූන දෙන්න, ධෛර්‍යෙන් ඒ දේවල් ජය ගන්න, ගෑනු ළමයෙක්ට හැකියාවක් තියෙන්න ඕනෙ නේද??

            ආදරේ, හීන, බලාපොරොත්තු මේ දේවල් ගැහැණු ළමයෙක්ගේ ජීවිතේක තියනවා වැඩියි.නමුත් ඒ දේවල් වලට විතරක්ම යටවෙලා ජීවත් වෙන්නත් අමාරුයි.

"උදාහරණයක් විදිහට මම ආදරේ ගන්නම්.මේ ආදරේ පුංචි කාලේ ඉඳන් ගෙදරක අම්මගෙන් තාත්තාගෙන් වැඩිපුරම හොයන්නේ ගැහැනු ළමයි.ඒක නිසානේ, පොඩ්ඩක් අම්මා තාත්තා සැරවුනොත් මුල්ලකට ගිහිල්ලා නොකා නොබි පැය ගාණක් යනකම් අඬන්නේ.ඒ මොකද ඒ වෙලාවට හිතෙනවා අම්මා තාත්තා අපිට ආදරේ නැහැ කියලා.ඉතින් ඔය මානසික මට්ටමින් හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක් අර අපේ අම්මලා කියනවා වගේ කරදඩු උස්මහත් වුනාට පස්සෙවත් වෙනසක් වෙන්නෙ නම් නැහැ.ඉතින් ඒක නිසාම ඒ පුංචි කාලේ දි අම්මගෙන් තාත්තාගෙන් බලාපොරොත්තු වුන ආදරේ තමයි ලොකු වුනාම තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත්.

ඒක එහෙම නෙවෙයි කියන්න පුළුවන්ද?ඉතින් එදා අම්මා තාත්තා ආදරේ නැහැ කියලා හිතලා නොකා නොබි අඬපු ගෑනු ළමයා ,පස්සෙ කාලෙකදි තමන්ගේ ආදරේ නැතිවුනාම ඉවසගන්න බැරිව මැරෙන්න හදනවා.ආදරේ කියන්නේ ජීවිතේක පටන් ගැන්මක් මිස අවසානයක් නෙමෙයි කියලා තේරුම් ගන්න ශක්තියක් ඒ මොහොතේ ඇත්තටම නැතුව යනවා.අනිත් එක හිතන්නේ ආදරේ කොහොම හරි ලබා ගන්නම ඕනි කියලා.නමුත් ආදරේ කියන්නේ ඇත්තටම පරිත්‍යාගයක්.ඉතින් නොලැබුණ ආදරයක් වෙනුවෙන් තැවෙන විදවන එක මහ මෝඩ වැඩක්. (ඔන්න මම කියන්නේ නැහැ ආදරේ වෙනුවෙන් දුක් වෙන්න එපා කියලා නම්.මම මේ කියන්නේ නැති වුනත් ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න කියලයි) නමුත් මේ දේ නොතේරෙන්නේ සමහරවිට ගැහැනු ළමයෙක් විදිහට ජීවිතේ ගැන අවබෝධයක් හරි හැටි නැති නිසානේ.යථාර්තයට මූන දෙන්න ආත්මශක්තිය මදිකම නිසානෙ.ඒක නිසා මේ ජීවිතේ ගැහැනු ළමයෙක් විදිහට බොළඳ වෙලා, හීන ලෝක වල ජීවත් වෙලා, බලාපොරොත්තු කඳු විතරක්ම ගොඩගහගෙන ඉදලා,තීරණයක් ගන්න, ඒවා ක්‍රියාත්මක කරගන්න, බැරුව සමාජෙට මූණ දෙන්න නොදැනනම් ජිවත් වෙන්න ඇත්තටම අමාරුයි... ඔව්...හුඟාක් අමාරුවෙයි...."

                  හීන ලෝක මවාගෙන ,ඒ වගේ උඩ පැන පැන ජීවත් වුනාට කමක් නැහැ.නමුත් කවදම හරි දවසක ඒවා කඩාගෙන වැටෙන බවත් හොද හැටි තේරුම් අරගෙන ඉන්න ඕනී. (හීන ලෝක මවා ගත්තට කමක් නැහැ කිව්වේ නම් ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් කොහොමත් හීන බලන්න ආස නිසයි) ඇත්තටම තමන්ගෙ හැදියාව තුල මොන විදිහේ ක්‍රියා කලාපයක් තිබුණත්,  මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනී.හැබැයි ඉතින් පුංචි පුංචි දේවල් වලටත් හොටු පෙරාගෙන අඬලා නම් ඒ දේ කරන්න කවමදාවත් බැරිවෙයි.කඳුලූ කියන්නෙ කිසිම වටිනාකමක් නැති, නිකන්ම නිකන් බොරුවක් විතරක් විදියට ගලාගෙන යන්න දෙන එක අපරාදයක්.. ඒ කඳුළකට වුනත් වටිනාකමක් දෙන එකයි යුතුකම.ඒ නිසා ගැහැනු ළමයෙක් විදිහට අනාගතේට මුහුණ දෙන්න මේ හිත තුල හොද ආත්ම ශක්තියක් ගොඩ නගා ගන්න ඕනේ... තමන් දුර්වලයි කියලා මොහොතකට හරි දැනුනොත්, ඒ මොහොතේ ඉදන්ම උත්සාහ කරන්න ඕනෙ ,ඒ දුර්වලකම ජය ගන්න.

             ඒ විතරක්ද,ඉස්සර නම් ගැහැනු ළමයෙක් කියන්නේ ගෙදරක‍ට බරක්ලු.නමුත් අද නම් ඒ දේ ගොඩක් වෙනස් වෙලා තියනවා.ඒත් මේ වෙනස තියෙන්නේ ටික දෙනෙක් අතර විතරයි.එහෙම වෙන්නේ නැතිව හැම කෙනෙක්ම හොද ආත්ම තෘප්තියක් එක්ක වැඩ කරන්න පුරුදු වුනොත් ගැහැනු ළමයෙක් විදිහ‍ට අනාගතේට තනියම වුනත් මුහුණ දෙන්න හැකියාවක් ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.කොහොමටත් මේ ජීවිතේ අපි කාටවත්ම බරක් වෙන්න ඔනීත් නැහැනේ...එහෙම නේද..?

              ඉතින් මමත් ගැහැනු ළමයෙක් විදිහ‍ට අවසාන වශයෙන් ඔයාලට කියන්න කැමති විදින්න තියෙන ජිවිතේ විදවන්නේ නැතිව, මේ සමාජයට බයේ පෑගිලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ නැතිව ,හොද අවබෝධයක් ඇතිව ,නියම ගැහැණු ළමයෙක් විදිහට ජිවිතේට මුහුණ දෙන්න කියලා....ගැහැණු හිතකට කරනන් බැරි දෙයක් නෑ.

 මේ ලෝකෙ වෙනස් වුනු හුඟාක් තැන් වල යෝධ ගැහැනු ආත්ම වැලලිලා හරි තිබිලා තියෙනවා.  ඒ වගේම ගැහැනු හිතක් ධෛර්‍යමත් වුනොත්, දෙයක් කරනවා කියලා හිතුවොත්, දෙයක් වෙනුවෙන් සටනට ආවොත්..... ,දිනලාම තමයි නවතින්නෙ... එහෙම දේවල් ඉතිහාසයෙන් පවා ඔප්පු වෙලා තියෙනවා..

          ඉතින්, ආදරණීය ගැහැනු ළමයිනේ.... මේ ජීවිතේ ඔයාලා ඉස්සරහට තිබ්බ පයක් ආපස්සට තියන්න හිතන්න එපා.. මොන බාධක ආවත්.. නොසැලීම ඉදිරියටම යන්න....!!!

මෙහෙම ලියපු මම, සිතුවිලි දැහැන. ගැහැනු ළමයි බ්ලොග් එකට එකතුවුනු අලුත්ම සාමාජිකාව. අද ඉඳන් ඉදිරියට මමත් ගැහැනු ළමයි එක්ක දිගටම ඉන්නවා.. ඉදිරියේදි හමුවෙමු තවත් ලිපියකින්.. 


ජය වේවා!!

Tuesday, June 26, 2012

මතකයන් දිගේ....II


වසන්තය
ඉගිලිලා ගිය ඉක්මන.....
නුඹද
නොහඳුනන්නෙකු වු අරුමය.....
මම තවම මෙතන
නුඹ කොහිද
හිතවත...??
වියලිලා
මැයි මාර හෙවණද,
මග බලා උන්නු ඒ මතකය
යායුතුද නොදැන මම අද දින
බලා හිඳිමි
නොපෙනෙනා අනන්තය.........
හිත කිරි ගෙහෙනා සීතල
සීතලට ගල් උන අත් දෙක
තව අයෙක් පිරිමදියි හෙමිහිට......
දැනෙන මුත් ඒ සෙනෙහෙ හෙමිහිට
හිත හඬයි තව හදනු බැරි ලෙස........



තවමත් මම ලොකු ප්‍රශ්නාර්ථයක.....ජීවිතේ කියන්නෙ නැවතිලා ඉන්න ඕනෙ තැනක් නෙමේයි.මම ඒක දන්නවා. ඒත් ,මම තාමත් බයයි අලුත් ජීවිතයකට.ඒ ජීවිතෙත් ,තවත් හමුවිමක් වෙලා වෙන්විමක් වුනොත්???ඇත්තටම මට ගොඩාක් බයයි, අලුත් පටන්ගැන්මත් ,මතකයන් ගොඩක් එක්ක වේදනාවක් විතරක් ඉතිරි කරල දාලා යාවි කියලා........


සෑහෙන කාලයක් තිස්සෙ මම විඳවපු , වින්ද ඒ වේදනාව මතක් වෙද්දි, ආයෙ ආයෙත් ඒ දුක් ගින්න උහුලන්න වුනොත් කියලා, මගේ හිත මාව බය කරනවා....

හැම දෙයක්ම වෙනස් වෙන ලෝකෙ, ආයෙමත් වතාවක් වෙනස් නොවී තියෙන්න පුලුවන් කියලා විශ්වාස කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?? ආයෙමත් මාව බය කරනවා.....


ඒත්, අනාගතේට බයේ, ජීවිතේ ඉස්සරහට යන්න බයේ, යථාර්තයට , ඇත්තට මූණ දෙන්න බයේ... මම හැමදාමත් මෙහෙම , මේ ඉන්න විදියටම..

මෙතනම නැවතිලා හිටියොත් හරීද??


ලබන සතියට.................


පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙන්න පාර

Friday, June 22, 2012

අඬන්න........

මම ලිහිණි. බ්ලොග් සමාජෙට නවකයෙක්. මේ මගේ පළමු ලිපිය ගැහැනු ළමයි බ්ලොග් අවකාශෙට ලියන.







හිනා වෙන්න එපා 
අඬන්න
ඒ ඇයි?
මම නැති වුනොත්?
මෝඩි එහෙම වෙන්නේ නැහැ
මම නැති වුනොත් අපේ පැටියට
හොඳ අප්පච්චියෙක් වෙන්න
පිස්සුද මොනාද මේ කියන්නේ
ඔයයි අපේ පැටියයි
දෙන්නම තව ටිකකින් මගේ ළඟ.........
මගේ පැතුම ඒකයි
අනේ රත්තරන්
අපේ පැටියට මාව නැති වෙයි. 
මට ගොඩාක් බයයි
කටවහගෙන ඉන්නවා.
ඔයාව දැන් තියේටර් එකට ගනී
මම ඔයාට ගොඩාක් ආදරෙයි..
මමත්.. මාව බය කරන්න එපා.....






.......................................................................




මට කනගාටුයි මිස්ටර් ජිවක..
ඔයාගේ වයිෆ් ව බේරගන්න අපිට බැරි වුනා.........................




Thursday, June 21, 2012

ගැහැනු ළමයින්ට මොකද වුනේ???

මේ ගැහැනු ළමයි බ්ලොග් එකට ලියන 2වෙනි ලිපියයි. ඒත් ඒක මෙහෙම ලිපියක් වේවි කියලානම් හිතුවෙ නෑ.. ඇත්තටම මට ඕනෙ කලේ ගැහැනු ළමයි වෙනුවෙන් යමක් කියන්නයි.දැන් කට්ටිය බලයි ගැහැනු ළමයි බ්ලොග් එක නවත්වන්නද යන්නෙ කියලා..:D නෑ.. ඒක එහෙම වෙන්නෙ නෑ.. 
මේ බ්ලොග් එක දිගටම ලියාගෙන යනවා.. බාධක, ප්‍රශ්න,හිත් රිදවීම් ජීවිතේට මූණ දෙද්දිත් අත්දකින දේවල් වෙච්චිකොට, බ්ලොග් එකක් ලියාගෙන යද්දි ඔහොම දේවල් වලට මූණ දෙන්න වීම බොහොම සාමාන්‍යයි. ඒ නිසා නියම ජයග්‍රහණය රඳා පවතින්නෙ උත්සාහය, අධිෂ්ඨානය සහ බාධක හමුවේ නොසැලී හිදීම තුළ බව දන්න ගැහැනු ළමයි අපි, මේක දිගටම ලියාගෙන යනවා.මොන බාධකය ආවත් අපි මේ පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යනවා.

ඊලඟට කියන්න ඕනෙ වැදගත්ම දෙයක් තමා, මේ "ගැහැනු ළමයි" බ්ලොග් එක ගැන. මේ බ්ලොග් එකේ අරමුණ ගැන සමහර අයගෙ හිත් වල වැරදි ආකල්පයක්, සිතුවිල්ලක් තියෙන්න පුළුවන්.මේක මේ බ්ලොග් අවකාශෙ ඉන්න පිරිමි ළමයින්ට,පිරිමි පාර්ශවයට මඩ ගහන්න, ඔවුන් හෙළාදකින්න, චරිත ඝාතනය කරන්න, අපහසුතාවයට ලක් කරන්න ලියන බ්ලොග් අඩවියක්වත්, ස්ත්‍රීවාදී සංකල්පයක් විතරක්ම පෙරදැරි කරගෙන ලියන බ්ලොග් අඩවියක්වත් නෙවෙයි. බ්ලොග් අවකාශෙ සමකාලීන, එක වයස් පරතර වල කීපදෙනෙක් එකතුවෙලා, විනෝදය, සතුට වගේම ගැහැනු ළමයිගේ අදහස්, ආකල්ප, සිතුවිලි, හීන වගේම ගැහැනු ළමයින්ගෙ හිත් ගැන කතා කරන්න ලියන බ්ලොග් අඩවියක්. නමුත් මේ බ්ලොග් එකේ ඊට අමතරව, විවිධ කතා, සමාජ ගත විවිධ සිද්ධි, ගීත, සාහිත්‍ය වගේ විවිධ පරාස ඔස්සේත් ලිපි ලියන්න, කතා කරන්න තමයි අපි උත්සාහ කරමින් හිටියෙ.

මේ බ්ලොග් එක තාම පටන්ගත්තා විතරයි. තාමත් අපි අඩුපාඩු හදාගනිමින්, එන්න එන්න ලියන දේවල් වල ගුණාත්මක බව වැඩි කරගන්න සිතමින් මූලික අවදියේ ගත කරන බ්ලොග් අඩවියක්. ඉතින් තවමත් අපි බ්ලොග් අවකාශෙට තරමක් හරි පරණ වුනත්, මේ බ්ලොග් එක නම් තාම අලුත්. අපිට තව කල යුතු සහ, කිරීමට දේවල් හුඟාක් තියෙනවා.ඉතින් මේ බ්ලොග් එක දිහා බැලුවාම කෙනෙක්ට සෑහීමකට පත්වෙන්න පුළුවන් තරම් දෙයක් තියෙන්නත් ,නොතියෙන්නත් පුළුවන්.ඒ අපේ බ්ලොග් එක ගැන..

ඊළඟ කාරණාව තමයි, මේ බ්ලොග් එක ලියන්න එකතුවුනු අපි. අපි මේ බ්ලොග් අවකාශෙ මහා ලොකුම ලොකු චරිත නෙවෙයි. බ්ලොග් තරු නෙවෙයි. ඒක එහෙමයි කියලා අපි හිතාගෙනවත්, එහෙමයි කියලා කියන්නෙවත් නෑ. හුදෙක්ම ආත්ම තෘප්තිය වෙනුවෙන් බ්ලොග් ලියන අපි කීපදෙනෙක් එකතුවෙලා පටන්ගත්තු මේ බ්ලොග් එක හදන්න, මූලික අඩිතාලම හදාගත්තෙ මම, වර්ණා, ප්‍රාර්ථනා අක්කා වගේම සිහින මදාරා එකතු වෙලායි.  අපි මේ බ්ලොග් එක හදලා,ලස්සන කරලා,අනිත් අයටත් කියලා ,අනිත් අයගෙනුත් අදහස් අරගෙන තමා මේක පටන් ගත්තෙ. ඊටපස්සෙ අපි මේකට කුමාරිහාමි අක්කා, පිටස්තරී, දඟමල්ල,බට්ටි සහ අනූ ව එකතු කරගත්තා.ඉතින් මේක ආරම්භයේදි ඇඩ්මින් ලා විදියට වර්ණාත්, ප්‍රාර්ථනා අක්කාත්, මමත් මූලික වුනා. නමුත් ඇත්තටම මෙතනදි අපි කාටවත් සමඅයිතීන් ලබා දුන්නෙ නෑ කියන්න බෑ.. මොකද අපි බ්ලොග් එක වෙනුවෙන් හදාගත්ත ගෲප් එකේ තියෙන පෝස්ට් වලින්, චැට් වලින් ඒක තහවුරු වෙනවා. අපි හැමදෙයක්ම හැම කෙනෙක්ම කතා බහ කරලා කණ්ඩායමක් විදියටයි වැඩ කලේ. පළවෙනි පෝස්ට් එක ලිව්වෙත් මමයි ප්‍රාර්ථනා අක්කායි එකතුවෙලා , අක්කාගෙ අදහස් වලට මමත් අදහස් කියලා එකතුවෙලා තමයි අපි ඒක  ලියලා Draft කලේ. ඊටත් පස්සෙ වර්ණා, සිහින මදාරා වගේ වපි මූනූ පොතේ බ්ලොග් එක වෙනුවෙන් හදාගත්තු ගෲප් එකත් එක්ක ,නිතර මුහු වුනු අනිත් අයටත් කියලා, ඒ අයගෙ අදහසුත් අරගෙන තමා අවසානෙදි ලිපිය පබ්ලිෂ් කලේ. මම, සිහින මදාරා, පිටස්තරී , වර්ණා ,කුමාරිහාමි අක්කා අපි හැමෝම ලිපියක් ලියලා ඒක අනිත් අයට පෙන්නලා, ඒකට දාන්න ඕනෙ පින්තූරෙ පවා අනිත් අයගෙ අදහස් අරගෙන තමා අවසානෙදි ලිපිය පබ්ලිශ් කලේ. ඉතින් මේක කණ්ඩායම් වැඩක් නෙවෙයිද?. අපි වැඩ කලේ එකතුවෙලා.( එතනදි අනූ කාන්චනා අපේ කිසිම සාකාච්ඡාවකට, කිසිම ගෲප් පෝස්ට් එහෙකට අදහසක් දක්වන්න එකතුවුනේ නෑ. එතනදි අපි හිතුවෙ අනූ ට වැඩ අධික කම නිසා, වෙලාවක් මද කම නිසා කියලයි. ඉතින් අපි ඇයව සාධාරණිකරණය කලේ එහෙමයි.)

ඊලඟට විශේෂයෙන් අපි ඇඩ්මින් වුනා කියලා ,අපිට ඕනෙ විදියට විතරක් හැමදේම වෙන්න ඕනෙ කියලා අපි අපේ අයිතිවාසිකම් ගැන කෑගැහුවෙ නෑ. කුමාරිහාමි අක්කා වුනත් මුලින්ම ලිපියක් ලියන්න කිව්වාම, අපි හැමෝගෙන්ම අහලා "නඟාලා මම මොකක් ගැනද ලියන්න ඕනෙ?" වගේ අපෙනුත් අදහස් අහලා තමයි ලිව්වෙ. එයා අක්කා කෙනෙක් නිසා, අක්කලා නංගිලාගෙන් අවසර ගන්න ඕනෙ නෑ කියලා , අයිතිවාසිකම් , සම අයිතීන් ,අනං මනං ,ගැන කතා කලේ නෑ. අපි එකතුවෙලා වැඩ කලේ.කොටින්ම කුමාරිහාමි අක්කාගෙ ලිපියෙ නම පවා අපි දැම්මෙ එකතුවෙලා. එතනදි කුමාරිහාමි අක්කා, එයා ලියපු ලිපියට එයා කැමති නමක් දාන්න ඕනෙ කියලා, අයිතීන් ගැන කතා කලේ නෑ. අපි උත්සාහ කලේ එකතුවෙලා වැඩ කරන්න. ඔව් අපි එහෙම කළා.ඉතින් මෙතනදි මේ ඊයේ දවස වෙනක්ම්, කිසිම කෙනෙක් තමන්ගෙ අයිතීන් ගැන කිය කිය ,මේ තිබුණු කණ්ඩායම්, සාමූහික හැඟීම නැතිකරගන්න උත්සාහ කලේ නෑ.මම මේකෙ ඇඩ්මින් කෙනෙක් කියලා මටත් අමතක වෙලයි තිබුණේ. මොකද මම එහෙම දෙයක් ඔළුවට දාගෙන නොහිටි නිසායි. මට තිබුණෙ "ගැහැනු ළමයි " කියන්නෙ අපේ  බ්ලොග් අඩවියක් කියන අදහස පමණයි.

ඊලඟට අනූ කාන්චනා ගේ ප්‍රශ්නෙ දිහාවට හැරෙන්නම්. මොකද මම මේ ලිපිය ලියන්න මූලික වුනේ ඇය නිසා.ඊයෙ හවස අහම්බෙන් මම මූණූ පොතට ආපු වෙලාවෙ තමයි මේ ප්‍රශ්නෙ ගැන දැනගත්තෙ.ඒවෙලාවෙ අනූ මට කිව්වා එයාගෙ පෙම්වතාගෙ කමෙන්ට් එකක් එයා ලිව්ව ලිපියෙ ,ඒ වෙලාවෙම, ඒ ක්ෂ්ණිකයෙන් , ඇසිපිය හෙලන මොහොතින් බ්ලොග් එකේ පල නොවීම නිසා, ඔහුට ඉවසගන්න බැරිව ,අනූට බ්ලොග් එකෙන් අයින් වෙන්න කියන බව. (ඒ මොහොතේ තමයි මම දැනග්ත්තෙ අනූ අපේ බ්ලොග් එකට ලිපියක් ලියලා බව).එතනදි මම වර්ණාවත්, ප්‍රාර්ථනා අක්කාවත් සම්බන්ධකරගෙන මොනාහරි දෙයක් කරන්න උත්සාහ කලා. නමුත් අනූ ට ඒ වෙන තුරු ඉවසන්න බැරි බව කිව්වා. එයාගෙ පෙම්වතාට ඒ වෙනතුරු ඉවසන්න බැරිලු.ඉතින් මමත් අසරණ වුනා.

නමුත් මට එවෙලෙ අනූගේ අසරණ කමත් දැනුනා. මොකද මමත් ඔය ගින්නට පිච්චිලා තියෙන නිසා ,මට ඇයව දැනුනා. ආදරේ කරන කෙනෙක් අහිමි වේවී කියන බය කොයිතරම්ද කියලා මට දැනිලා තිබුණු නිසා , මට අනූ ව තේරුම් ගන්න පුළුවන් වුනා. ආදරේදි හැම කෙනෙක්ම එක විදිය නොවන බවත් දැනගෙන හිටියා. මිනිස්සු විවිධාකාරයි කියලා මම තේරුම් අරන් හිටියා.ඒ නිසාම මම මේකට විසදූමක් හෙව්වා.ඒත් ක්ෂණිකයෙන් මගේ හිතට මහ පුදුම වේදනාවක් දැනුනා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, අනූ මට එව්ව "ඉවත්වීම" කියන එයාගේ පොස්ට් එකේ ලින්ක් එක නිසා.ලිපියක් ලියලා මුළු බ්ලොග් අවකාශෙටම අණබෙර ගහලා, ඉවත්වෙලා යන්න තරම් ලොකුම ලොකු ප්‍රශ්නයක් නොවුණූ මේ සිදුවීම කතා බහ කරලා විසඳගන්න තිබුණා අපිට. ඒත් අනූ ඉස්සර වුනා. ඒ පොස්ට් එකේ වචන, ඒ ලියපු ශෛලිය ,වගේම අන්තර්ගතය තුළ එක හෙළාම ඇගිල්ල දික් කරලා තිබුණෙ අපිට නිසා ,මටත් ඇතිවුනේ කළකිරීමක්.මෙච්චර කාලයකට මේ බ්ලොග් අවකාශෙ කිසිම කෙනෙක්ට හිතාමතා වරදක් වෙන්න දුන්නෙ නැති මම ඒ ගැන කම්පා වුනා. 

අවසානේදි  අනූගෙ පෞද්ගලික බ්ලොග් එකටවත්,  අපේ ගැහැණු ළමයි බ්ලොග් එකටවත් කවදාවත් ඇවිල්ලා නැති පිරිසක්, ඇනෝ ලා පිරිසක්, ඒ වගේම ඇවිලෙන ගින්නට පිදුරු දාන්න බලන් උන්නු පිරිසක්, අවස්ථාවෙන් මදි නොකියන්න ප්‍රයෝජන ගත්තා.ඒ නිසාවෙන් මේක ලියන  අපිට, ගැහැණු ළමයි බ්ලොග් අඩවියට, අනූට විතරක් නෙවෙයි, ඇගේ සදාදරණීය පෙම්වතාටත් කළු පැල්ලමක් එකතුවුනා.මොකද මෙතනදි එක එක්කෙනා මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ එක එක කෝණ වලින්.. එක එක විදියට. ඒ නිසා ඔවුන්ට වැරදිකරුවො විදියට පෙනුනේත් එක එක පාර්ශව.සමහරු ඇඩ්මින්ලාට බැන්නා. සමහරු අනූට බැන්නා. සමහරු ඇගේ පෙම්වතාට දොස් කිව්වා.ඔය විදියට එක එක්කෙනා ,  එක එක විදියට මේකෙ දොස් දැක්කා.ඒත්,  ඒකට අපිට ඔවුන්ට දොස් කියන්නත් බෑ. මොකද ඒක මනුස්ස ස්වභාවය. එක අත්තෙ වැහුවාට කුරුල්ලො ඔක්කොම එක වගේ නෑ. මිනිස්සු වෙච්චි අපිත් එහෙමයි. බ්ලොග් ලිව්වාට අපි හැමෝම එක වගේ නෑ නේද?

අනිත් කාරණාව වුනේ කමෙන්ට්ස් මොඩරේට් කිරීම ගැන. ඇත්තටම සාමූහිකව ලියන බ්ලොග් එකක කමෙන්ට්ස් මොඩරේට් කරන්න අපි යොමුවෙන්න හේතු කීපයක්ම තිබ්බා. ඒ තමා

  • මේ බ්ලොග් එක ලියන්නෙ ගැහැනු ළමයි කීපදෙනෙක් එකතු වෙලා නිසා. 
  • විවිධ මානසික මට්ටම් වල විවිධ අය බ්ලොග් කියවන නිසාත්, කමෙන්ට්ස් ලෙස සමහර කියවන්න පිළිකුල් ,අසභ්‍ය වචන  ලැබෙන්න ඉඩකඩ තිබෙන්න පුලුවන් කියා උපකල්පනය කල නිසා.

  • එක් අයකුගේ පෝස්ට් එහෙකට එහෙම නරක දෙයක් වැටුනොත්, මුළු බ්ලොග් එකටම එය බලපාන නිසා.නිකන් හිත් නරක් කරගන්න කලින් මොඩරේට් කරන එක හොද නිසා.
මෙන්න මේ කාරණා අපේ බ්ලොග් එකේ කමෙන්ට්ස් මොඩරේට් කරන්න හේතු වුනා. ඒකෙ ලොකු වරදක් මම දකින්නෙ නෑ. මොකද බ්ලොග් අවකාශෙ බොහෝ දෙනෙක් කමෙන්ට්ස් මොඩරේට් කරලා තියෙන නිසා, බ්ලොග් කියවන අයට ඒක අමුත්තක් වෙන්න කොහෙත්ම  විදියක් නෑ.

(ගැහැනු ළමයි ලියන බහුතරයක් දෙනා නම් කමෙන්ට්ස් මොඩරේට් ,තමන්ගෙ පෞද්ගලික බ්ලොග් අඩවි වල භාවිතා කරන්නෙ නෑ. නමුත් මේ බ්ලොග් එකේ එහෙම කරන්න හේතු තිබුණා.)


අනික,සාමන්‍යෙන් අපේ රටේ එක සිස්ටම් එකක් තියෙනවා. ඒ තමයි කවුරුහරි කෙනෙක් දෙයක් අලුතෙන් කරන්න පටන් ගත්තොත්, අපේ බහුතරයක් මිනිස්සු කරන්නෙ ඒ දේට අකුල් හෙලන එක, ඒක පාගන එක, හිනා වෙන එක, නෝන්ඩි කරන එක. ඊටපස්සෙ ඒ දේ නතර කරන්න නොයෙක් දේවල් කරනවා..මොන දේ කරලාත් නතර කරන්න බැරි වුනාම, දිනුම් කණුව ළඟටම කිට්ටු කරද්දි , අපේ මිනිස්සු කරන්නෙ, අර කපන්න බැරි අත ඉඹින එකයි. ඒක මේ රටේ සිස්ටම් එකක්.මේ බ්ලොග් වලටත් , කොයි දේටත් ඒක පොදුයි..

ඉතින්, කොහොම වුනත් අපේ ගැහැනු ළමයි බ්ලොග් එක නිසා, අනූගෙ පෞදගලික ජීවිතේට ඇතිවුනූ ප්‍රශ්නය ගැන, අපේ ගැහැනු ළමයි බ්ලොග් අඩවියේ සමස්ථ ගැහැණු ළමයි අපි ,කණගාටුව ප්‍රකාශ කරනවා.

ඒ වගේම අපෙන් සිදුවුනු අතපසුවීමක් නිසා පළ කරන්න නොහැකිවුනු ඔබේ පෙම්වතාගේ ආදරණීය කමෙන්ටුව පිළීබඳව සමාව ඉල්ලනවා. අනූ කියන විදියට, ඇගේ සම අයිතිය ලබා නොදුන් අපි වරදරකරුවෝ. ඒ වගේම ආත්ම හතක් යනතුරාවට ඇය ළඟ රැඳෙන්න පෙරුම් පුරන, කමෙන්ටුව පලවෙන තුරු එක මාස 7ක්, දවස් 7ක් නෙවෙයි පැය 7ක් ඉවසගන්න බැරි ඇගේ නොඉවසිලිමත් සදාදරණිය පෙම්වතා කියන පරිදි අපි වරදකරුවෝ. ඉතින් ඔබ දෙදෙනා කියන පරිදි වරදකරුවන් වුනු අප අතින් නැවතත් වතාවක් එවන් වරදක් නොවෙන්න අපි වග බලාගන්නම්..මමත්, වර්ණාත්, ප්‍රා අක්කාත් දවල් වරුව අන්තර්ජාලයේ නොරැඳෙන නිසා කමෙන්ට්ස් පබ්ලිශ් කරන්න ප්‍රමාද වීම අපේ අතපසුවීමක් නිසා ඒ වෙනුවෙන් නැවතත් කණගාටුව ප්‍රකාශ කරනවා.

අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑ.. මේ ලියන මම, ගැහැනු ළමයි අපි, කමෙන්ට් කරපු ඇනෝලා, අනිත් බ්ලොග් කියවන අය... අපි මිනිස්සු කවුරුත් සර්වසම්පූර්ණ නෑ.. ඉතින් වැරදීම්, අතපසුවීම්,  අඩු පාඩු අපි කාටත් පොදුයි. මෙතුවක් කාලයට, අවුරුද්දක් පුරාවට මම මේ බ්ලොග් අවකාශෙ කිසිම කෙනෙක්ට මඩ ගහන්න, පහර ගහන්න, නින්දා කරන්න , වෛර කරන්න , තරහ වෙන්න පෙළඹිලා නෑ.. අදටත් එහෙමයි. එදා මෙදා තුර මට හමුවුනු හැම බ්ලොග්කරුවෙක්ටම මම බොහොම ගරු කරනවා. ඒ වගේම සොඳුරුතම මිනිසුන් ඉන්න මේ බ්ලොග් අවකාශෙට මම ආදරෙයි. ගැහැනු ළමයි අපි ආදරෙයි.අපි බ්ලොග් අවකාශයම එකම පවුලක් නෙවෙයිද?. ඉතින් පවුල් ඇතුලේ පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳන්න අපි උසාවි යන්නෙ, නඩු කියන්නෙ නෑනෙ? ඉතින් මින් මතුවටත් අපි පුංචි පුංචි ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න බලමු නේද? 


ප්‍රශ්නයක් වුනාම, දෙයක් වුනාම එක එක්කෙනා හැසිරෙන විදියත් වෙනස්නෙ. ආවේගශීලි වෙන්න පුලුවන්, දුක්වෙන්න පුළුවන්, අඬන්න පුළුවන්, තරහ ගන්න පුළුවන්.. ඉතින් එහෙම වෙලාවකට අපෙන් ගිලිහෙන වචන නිසා, අදහස් නිසා කාටහරි හිත් රිදවීමක්, දුකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊයෙත් එහෙම දෙයක් වුනානම්, ඒ පිළිබඳවත් අපේ බලවත් කණගාටුව..

මේ ලිපිය ලිව්වෙ කිසිම වෛරී අරමුණකින්, තරහකින් නෙවෙයි. ඒවගේම අපි නිවැරදියි, අපි අතින් අතපසුවීම් වුනේ නෑ කියන්න නෙවෙයි. ඒ වගේම අනූ වැරදියි කියන්නත් නෙවෙයි.ඇගේ පෙම්වතා වැරදියි කියන්නත් නෙවෙයි.සිදුවුනේ මොකක් නමුත් වැරදි දෙයක්.. ඒ නිසා ඒ වරද නැවත ඇති නොවෙන්න වගබලාගන්න ඕනෙ වගේම , අපි කාගෙ කාගෙත් හිත් වල යම් හෝ වැරදි වැටහීමක් තියෙනවානම් ඒක නැති කරන්නයි ඕනෙ වුනේ.

කණ්ඩායමක් විදියට වැඩ කරද්දි, ඒ කණ්ඩායමත් එක්ක එකට ගලාගෙන යන්න, මුහු වෙන්න අමාරු අය මඟදි හැලෙනවා. ඒක ලෝකෙටම පොදු ධර්මතාවයක්. සාමූහික වැඩ කරගෙන යද්දි පුංචි පුංචි අවුල්, මත ගැටීම් ඇතිවෙනවා. ඒක බොහොම සුලභ දෙයක්. ලෝකෙ ඕනම බැදීමක් ඇතුලේ එහෙම දේවල් වෙනවා.මේකත් එවැනි බොහොම සුළු දෙයක්. ඉතින් කොහොම වුනත් අනූ අපෙන් ගිලිහීම පිළිබඳව කණගාටුයි. නමුත් එයා කියන විදියට, "ගැහැනු ළමයි නිසා , නිකන් මොකටද ප්‍රශ්න දාගන්නෙ කියලා " නිසාත්, ඇගේ යහපත වෙනුවෙන් ඇය ගත්තු තීරණයක් නිසාත් ,අපිට සතුටුයි!!!

අවසාන වශයෙන් පවුල් පන්සල්(ද?) කියන ලිපියට හුඟාක් ස්තූතියි අනූ.. පලවෙනි සහ අවසාන ලිපිය විදියට ලියපු ඒ ලිපියට අපි ඔයාට හුඟාක් ස්තූති කරනවා. අපි කිසිම තරහක් නෑ ඔයත් එක්ක. ඒ වගේම මේ බ්ලොග් අවකාශෙ ඔයා පුලුවන් කාලයක් රැඳෙන්න කියලා සුභ පතනවා.

ඒ වගේම අනූ කිව්ව විදියටම, පන්සලක තියෙන පූජනීයත්වය, ඒ නිසංසල ,පින්බර, දැහැමි ,නිවුනු බව, නිදහස් බව ඔබේ පවුලෙත් රැදේවා කියලා එක සිතින්ම අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔයාට...!! ජීවිතේ හැමදාම, ඔයාගෙ පවුල තුළ තියෙන ඔය ශක්තිමත් බැදීම රැදේවා කියලාත් ප්‍රාර්ථනා කරන ගමන්,

                     ගැහැනු ළමයි අපි, තව තවත් ඉදිරියටම යනවා...

                               ජය වේවා!!





Wednesday, June 20, 2012

පවුල් පන්සල් (ද?)


හ්ම්ම්... ඔන්න ඉස් ඉස්සෙල්ලම ගැහැණු ළමයි බ්ලොග් එකේ අනූ ලියන ලිපිය තමයි මේ. අපේ කෙල්ලො සෙට් එක මේ වෙද්දී දෙවෙනි වටයත් පටන් අරං. ඒත් අවාරෙට පොල් වැටෙනවා වගේ එහෙමත් නැත්නම් හාවා හඳ දකිනවා වගේ බ්ලොග් ලියන මට තාම මේකෙ කිසිම දෙයක් ලියාගන්න බැරි උණා. දැන් කට්ටියම ඒකට මට සමාවෙලා මේ ලිපිය කියවමු නේද?
---------------------------------------------------------------------------------------------------
ඉස්සර කාලේ පිරිමියෙක් ගැහැණියෙක්ව කරකාර බඳින එකට කියපු ලස්සන වචනයක් තිබුණා.ඒ තමා පවුල් පන්සල් වෙනවා කියන එක. (මේ වචනෙ මතක් උනේ අපේ බ්ලොග් අවකාශෙ අයිය කෙනෙක් මට චැට් එකේදී මේක කියල මට විහිලු කළා නේ.. J)

ඇත්තටම මේ වචනෙ, එහෙම නැත්නම් මේ යෙදුමේ තේරුම මොකක්ද? ඔයාලා කවදාහරි ඒකෙ අදහස හොයන්න උත්සහ කළාද?

මගේ අදහස අනුව පවුල් පන්සල් වෙනවා කියන්නෙ විවාහ ජීවිතය තුළ වඩාත් තැන්පත් වෙනවා වගේ අදහසක්. ඒ කියන්නෙ තනිකඩව උන්නු කාලේ වගේ නැතිව තමා විශ්වාස කරගෙන තව කෙනෙක් ජීවත් වෙනවාය කියන හැඟීම ඇතිව වගකීමක් ඇතිව ජීවිතය සකස් කරගන්නවා කියන එක.අම්ම තාත්තා යටතේ ඉන්න කාලේ නටපු පිස්සු විවාහ උනාට පස්සෙ කරන්න බෑ. අන්න ඒකයි මේ පවුල් පන්සල් කියන වචනෙ එක්ක මගෙ ඔලුවට එන අදහස...

මේ සම්බන්ධව මම අහපු කතාවක් කියන්නම්. ඇත්තම ඇත්ත කතාවක්. හොඳට අහගන්න.

මේ කතාවේ කථා නායිකාවට අපි නිශායා කියමු. මේ නිශායා කියන්නෙ ගොඩක් ලස්සන ගොඩක්ම ලස්සන කෙල්ලෙක්. එයාගෙ අම්ම නැතිවෙද්දී එයා අට වසරෙ. එයාගෙ තාත්තා මහ සල්ලිකාරයෙක්. අවුරුදු දහ තුනේදී අම්ම නැතිවුණු නිශායට ඒ අඩුව ඒ අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න තාත්තා ඉඩ තිබ්බේ නෑ. සේරම අතට පයට කරලා දෙන්න වැඩකාරයො හිටියා. කොටින්ම කියනවා නම් විවාහ වන වයසට එනකල්ම තමන්ගේ උදේ කිරි එක හදාගන්නවත් සිද්ධවුණේ නෑ. කොහොමහරි මේ අතරේ ලංකාවේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙක් වුණු තරුණ පිරිමි ළමයෙක් එක්ක නිශායා සම්බන්ධයක් ඇති කර ගන්නවා. එයාට අපි සනිල් කියල කියමු. ඉතින් කොහොමහරි මේ සනිල් නිශායා තරම් වත්පොහොසත්කම් ඇති කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්. ආදරය අන්ධයි කියනවලුනෙ නේද? ඒ නිසා ගෙදරින් එල්ලවෙන දැඩි විරෝධතා මධ්‍යයේ නිශායා මේ සම්බන්ධය දිගටම කරගෙන යනවා. ටික කාලයක් නෙමේ. ආසන්න වශයෙන් අවුරුදු අටක්.

අන්තිමේදී නිශායා තමන්ගේ තාත්තව අත හැරලා, ගෙදර අත හැරලා, නෑදෑයෝ අත හැරලා සනිල් එක්ක විවාහ වෙනවා. වුණාට පස්සෙ ගෙදර උදවියත් නිශායව ආදරයෙන් පිළිගන්නවා.


ගෙදර ඉන්නකල් වළඳක් අතින් නාල්ලපු නිශායා තමන්ගේ ස්වාමියා වෙනුවෙන්, තමන්ගේ ආදරය වෙනුවෙන් පාන්දර 5 ට නැගිටලා ඉවුම් පිහුම්, ගෙදර දොර වැඩ කටයුතු කරලා ලෑස්ති වෙලා රැකියාවටත් යනවා.

මේ අතර සනිල්ට විදේශ ගත වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවේ සනිල් විදේශගත වෙනවා. ඒ වගේම ටික කාලයකින් තමන්ගේ ප්‍රියම්බිකාව - නිශායා ඇයවත් තමන්ගේ රටට ගෙන්න ගන්නවා. මේ දෙන්නා බොහොම සමඟියෙන් සාමයෙන් කාලය ගත කරනවා.

ඔය අතර තුර නිශායාත් රැකියාවකට සම්බන්ධ වෙනවා. ටික කාලයක් ගත වෙනවා. එක් දිනක් මෙම රැකියා ස්ථානයේ රාත්‍රී සාදයක් සඳහා සහභාගී වීමට අවස්තාවක් යෙදෙනවා. ඒ සාදය සඳහා ඇය තනිව සහභාගී වෙනවා. එයින් යක්ෂාවේශ වෙන සනිල්- ඇගේ සැමියා එයම හේතුවක් කරගෙන ඇයව දිගින් දිගටම අපහසුතාවයට පත්කරනවා. ඇය සමීපයේ සිටින අවස්ථා වල වෙනත් ගැහැණුන්ට දුරකථන ඇමතුම් ලබාගෙන, තමා ඔවුන් සමඟ  යහන් ගත වී කළ කී දෑ කොක් හඬලා සිනාසෙමින් ඔවුන් සමඟ පවසනවා. ඒ විතරක් නොවෙයි,ඇය ඒ ගැන ප්‍රශ්න කිරීමට ගිය විට ඇගේ ගෙල මිරිකීමට පවා තැත් කරනවා.

මේ වන විට ඒ දෙදෙනා දික්කසාදය සඳහා සූදානම් වී හමාරයි. මේ අපේ කථා නායිකාව නිශායා ලංකාවට ගියත් ඇගේ සැමියා සනිල් ඇයට ඉන්න හිටින්නට තැන් අහිමි කරලා ඉවරයි. ඒ මොකද? ඇය ගණිකා වෘත්තියේ යෙදෙන බවත් රාත්‍රී සමාජ ශාලා වල රඟන බවත් ඔහු ලංකාවේ නෑදෑයන්ට දන්වලා. ඔන්න ඉතින් අවුරුදු අටක ආදරයක අරුමේ. කෝ ඉතින් පවුල් පන්සල් වුණාද? නෑ...



අච්චර වස්තු, සැප සම්පත්, දේපොළ තියෙද්දී ඒ හැම එකම එපා කියලා දමල ගහල ආව ගෑණි කියන ගුණේවත් තිබුණේ නෑ මේ සනිල්ට. ඇත්තටම ඒ කතාව ඇහුවාම මට ඇති වුනේ ලොකු කණගාටුවක් සහ පිළිකුලක්. කණගාටුව නිශායා ගැන. පිළිකුල සනිල් ගැන.

මේ ලෝකේ හැම ගැහැණියෙකුගේම හැම පිරිමියෙකුගේම නැත්නම් හැම කෙල්ලගේම හැම කොල්ලගේම කතාව මේක නොවෙන්න පුළුවන්. මම එහෙමයි කියලා කියන්නෙත් නෑ. නමුත් මේ කතාව සනිල්- නිශායා දෙන්නගේ විතරයි කියලා කියන්නත් මට බෑ. පොඩි පොඩි වෙනස්කම් සහිතව මේ වගේ සිද්ධි ඕනෑතරම් ඔයාල අහල දැකල ඇතිනේ. දැන් මේ සිද්ධියේ උනේ මොකක්ද? ප්‍රධානකොටම සැකය. තමන්ගේ බිරිඳ ගැන සැකය. (ළඟ හිටියොත් අයිශ්වර්යා පරාදයි කියන මට්ටමේ ලස්සනක් තිබ්බ නිසා වෙන්න ඇති සැකය  එතරම් ප්‍රභල වුණේ. එහෙම නැතිව නිශාය කළුම කළු කැතම කැත කෙල්ලෙක් වෙලා තනියම පාටියකට ගියා කියලා සනිල් වගේ කොල්ලෙක් කලබල වෙන එකක් නෑ)

ඉතින් මේ සැකය තියෙන තැන පවුලක් පන්සලක් වෙන්නේ කොහොමද? අපායක් වෙනවා මිස. අන්තිමට වුණෙත් ඒකම තමයි. L

දැන් මොහොතකට කල්පනා කරලා බලන්න ලංකාවේ කලාකරුවෝ කලාකාරිනියෝ ගැන. කීදෙනෙකුගේ නම් පවුල් අවුල් වෙලාද කියලා ගොසිප් සයිට් වලට ගියොත් බලාගන්න පුළුවන් පිංතුරත් එක්කම.. ඉතින් කලාකරුවෝ කිව්වම රටේ පිළිගන්න කොට්ඨාශයක් වෙච්චි කොට ඔය  වගේ දේවල් ඔබින්නේ නෑ. (තමන්ගේ තත්ත්වය රැකගෙන වැදගත් විදියට ජීවත් වෙන කලාකරුවන්ට අපහාසයක් කළා නොවෙයි. එයාලට කවදත් මගේ ආචාරය)

හැම මිනිහෙක්ම බලන් ඉන්නේ තමන් ළඟ ඉන්න එකාට වැරදෙනකල්. හිනා වෙන්න. හූ කියන්න. කකුලෙන් ඇදලා වට්ටන්න.පොඩි වරදක් ඇති වට්ටලා පාගලාම දාන්න. ඒ නිසා හැමවිටම කල්පනාකාරී වෙන්න ඕන.

ආදරය කරන අය, විවාහ වෙන්න ඉන්න අය, විවාහ වෙලා ඉන්න අය හිතනවා, පතනවා  මම මගේ සහකාරයාට/ සහකාරියට පණ වගේ ආදරෙයි කියලා. නමුත් එය සිතුවිල්ලට හෝ වචනයට පමණක් ප්‍රමාණවත් මදි. විශ්වාසය කියන දේ දැඩිව තිබිය යුතුමයි. සැකය ආවොත් පරාදයි. පවුල අපායක් වෙන එක වළක්වන්න බෑ කාටවත්.

මීළඟට මගේ ආදරය සම්බන්ධ ජීවිත අත්දැකීම් කීපයකුත් මේකටම එකතු කරන්නම්. මගේ කලින් ආදරය මට නැතිවෙලා තිබුණු කාලයේ තමා මම බ්ලොග් කෙරුවාවට ආවේ. ගොඩක් ආදර කතා වල වගේ (මම හිතන හැටියට J ) මට ඔහුව හමුවුණේ අහම්බෙන් වගේ. ඒ කාලයේ ආදරයක අවශ්‍යතාව මට දැනිලා තිබුණත් ඒ ගැන හෙළි කරන්න මම මැලි උණා වගේම සමහරු මගෙන් බලාපොරොත්තු වුණේ ආදරය නෙමේ. වෙනත් දේවල්. ඉතින් ඒ දේවල් එක්ක හේදිලා ගිහින් තිබුණු මගේ ආදර බලාපොරොත්තු ආයෙමත් අළුත් උණේ ඔහුව මුණ ගැහුණට පස්සෙ. ආදරය කළත් නොකළත් බොරුවක් කිරීමේ අදහසක් මා තුළ නැති නිසා මගේ කතාව ඔහුට කිව්වා. එය සාවධානව අසා සිටි පසුවයි ඔහු මට කැමති කිව්වේ.

අප දෙදෙනාම සිටින්නේ ලංකාවේ වුවත් ඔහු ඉන්නේ මගෙන් ගොඩක් ඈත. ආසන්න වශයෙන් කිලෝමීටර් 100ක දුරක්. සම්බන්ධතාවයට මාස තුන ඉක්මවුවත් හමුවී ඇත්තේ අතැඟිලි වලටත් වඩා අඩු වාර ගණනක්. එසේ වුවත් ඔහු කෙරේ මා ගැන කිසිදු අවිශ්වාසයක් නෑ. ඔහුටත් එසේමයි. අප අතර රණ්ඩු ඇති නොවනවා නොවේ. නමුත් ඒවා මිනී මරා ගන්නා තරම් දුර දිග යාමට අප ඉඩ දෙන්නේ නෑ. දුරින් හිටියත්, හමුවීමට ඉඩක් නොමැති වුවත් අන්‍යොන්‍ය විශ්වාසය තුළ අප දෙදෙනා ජීවත් වෙනවා.

ආදරය කළ වසර ගණනින් විවාහ ජීවිතයේ සාර්ථකත්වය මනින්නට බැහැ. කෙටි කාලයක් තුළදී වුවත් අදාළ පුද්ගලයා පිළිබඳ තමා ඇති කරගන්නා ස්වයං තක්සේරුව ගොඩක් වටිනවා. තේරුම් ගැනීම ඉතා වැදගත්. ඉතින් මා අදහස් කරන්නේ එයයි. එය එසේ වූවා නම් අදටත් සනිල්-නිශායා කැදැල්ල පන්සලක් නොවේද?

අන්තිම වශයෙන් මේ ලිපියේ අන්තර්ගතය කරුණු කීපයකට ගොණු කරන්නට සිතුණා.

v තමාට කොයි තරම් ආදරේ කිව්වත්, ආදරේ කළත් පුද්ගලයා කවුද කියන එක නියමාකාරව තේරුම් ගන්න.

v ආදර ජීවිතය හෝ විවාහ ජීවිතය තුළට සැකය කියන විෂබීජය ගාවගන්න එපා. ගෙන්න ගන්න විදියේ වැඩ සිද්ධ කරන්නත් එපා.

v අන්‍යොන්‍ය අවබෝධය හා විශ්වාසය ඉතා වැදගත්. ඒ දෙක නැත්නම් කොයි තරම් උගත්කම්, තානාන්තර තිබුණත් සතපහක වැඩක් නෑ.

v තමාව විශ්වාස කරලා ජීවත් වෙන කෙනාට කිසිම විදියක දුකක් දෙන්න එපා.

ඔය ටික ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පොදුවේ කිව්වේ. දැන් කියන්නෙ පිරිමි අයට විශේෂයෙන්

v දවසක් හරි තමන්ට ආදරේ කරපු කෙනාට අර කතාවේ සනිල් නිමාශාට කරපු විදියේ පාරේ බැහැල යන්න බැරි විදියේ වැඩක් නම් කරන්න එපා.( හිතන්නවත් එපා. හරි පව්)

ආදරේ කියන්නෙ උතුම් දෙයක්. විවාහය කියන්නෙ පිවිතුරු බැඳීමක්. පන්සලක් කියන්නෙ පූජනීය ස්ථානයක්. ඒ ඔක්කොම එකට ඈඳුනේ ඒ නිසයි. ඉතින් ආදරේ කරන හැමෝගෙම, විවාහ වෙලා ඉන්න හැමෝගෙම ජීවිත පන්සලක්ම කරගන්න. ඒක පන්සලක් කරගන්න පුළුවනුත් ඔයාටමයි, අපායක් කරගන්න පුළුවනුත් ඔයාටමයි.

මේ මගේ අදහස්. එහෙනම් ගැහැණු ළමයි බ්ලොගේ මගේ පළමු ලිපිය ලියලා ඉවරයි. ඔන්න මං ගියා. 

No comments:

Post a Comment